පුනරුත්ථාපන කාර්යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

විශ්ලේෂණය

හැඳින්වීම

ඖෂධවලට ඇබ්බැහි වු තැනැත්තන් බවට පත්ව ඇති පුද්ගලයන් සහ වෙනත් යම් නීතියක් ප්‍රකාරව හඳුනාගනු ලැබිය හැකි වෙනත් යම් තැනැත්තන් පුනරුත්ථාපනය කිරිම විධිමත් කිරිමේ අවශ්‍යතාව සහ වැදගත්කම සැලකිල්ලට ගෙන එය බරපතළ ගැටලුවක් සහ ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති හෙයින් එවැනි පුද්ගලයින් පුනරුත්ථාපනය කොට යහමඟට ගැනිමේ අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කරමින් එම කාර්ය ඉටු කිරිම සඳහා 2023 අංක 2 දරන පනත යටතේ ‘පුනරුත්ථාපන කාර්යාංශය’ යනුවෙන් සංස්ථාපිත මණ්ඩලයක් ස්ථාපනය කර ඇත. මෙම කාර්යාංශය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වනු ලබයි.

2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහිවු තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපන) පිළිබඳ පනත ප්‍රකාරව, ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ඉල්ලා සිටින හෝ ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබා දිය යුතු යැයි එම නීතියෙන් නියම කර ඇති ඖෂධවලට ඇබ්බැහි වු තැනැත්තන් සඳහා ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබා දීම මෙම කාර්යාංශයේ ප්‍රධාන කාර්යභාරය වේ. ඒ අනුව මේ වන විට අධිකරණ නියෝග යටතේ යොමු කරනු ලබන ඖෂධවලට ඇබ්බැහි වු තැනැත්තන් රැකබලා ගැනිම හා පුනරුත්ථාපනය සඳහා පුනරුත්ථාපන කාර්යාංශය යටතේ මධ්‍යස්ථාන ත්‍රිත්වයක් (03) ක්‍රියාත්මක වේ.

  1. නවෝදාව ප්‍රතිකාරක මධ්‍යස්ථානය – කන්දකාඩු
  2. නවෝදාව තෘතීය සහ වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය – සේනපුර
  3. සාරංගා මධ්‍යස්ථානය – වව්නියාව
 

යන එම මධ්‍යස්ථානයන්හි මාස 06 ක පුනරුත්ථාපන කාලසිමාවක් යටතේ ඖෂධවලට ඇබ්බැහි වු තැනැත්තන් රැකබලා ගැනිම හා පුනරුත්ථාපනය කිරිම සිදුවේ.

මෙසේ පුනරුත්ථාපනය සඳහා යොමුවන්නන්හට අවශ්‍ය වන මුලික පහසුකම් සපුරාලමින් ඔවුන්ගේ කායික, මානසික හා අධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීමෙහිලා විවිධ වැඩසටහන්, ක්‍රියාකාරකම් මෙන්ම ඔවුන්ගේ හැකියාවන් ආර්ථිකයට ඵලදායි වන ලෙස වැඩිදියුණු කිරීමේ අරමුණින් වෘත්තීය පුහුණු පාඨමාලාවන් ක්‍රියාත්මක කර ඇත. මෙම මධ්‍යස්ථානයන්හි සිදු කරනු ලබන උපදේශන සේවාවන් මඟින් ඖෂධ භාවිතයෙන් ඉවත් වීමට අවශ්‍ය මානසික මෙන්ම ශාරීරික ශක්තිය නංවා ගැනිමට සහය විම හා පවුලේ සාමාජිකයින්ට ද උපදේශනයේ මැදිහත්විම සඳහා අවශ්‍ය මඟපෙන්විම ද ලබාදෙන්නෙමු.

මීට අමතරව පුනරුත්ථාපනයෙන් පසු සමාජගත කරනු ලබන පුනරුත්ථාපනලාභින් තවදුරටත් සමාජයෙන් ප්‍රතික්ෂේපිත පුද්ගලයෙකු නොව, සමාජයට අත්‍යාවශ්‍ය ආදර්ශවත් පුද්ගලයෙකු බවට පරිවර්තනය කිරීම සඳහා පුනරුත්ථාපන ක්‍රියාකරකම්වලට සමගාමීව “පුනරුත්ථාපනයෙන් ඔබ්බට”යන තේමාව යටතේ ද සුවිශේෂි වැඩසටහන් හා ක්‍රියාකාරකම් රැසක් සිදු කෙරේ.

මධ්‍යස්ථාන

නවෝදාව ප්‍රතිකාරක මධ්‍යස්ථානය – කන්දකාඩු

නවෝදාව තෘතීය සහ වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය – සේනපුර

සාරංගා මධ්‍යස්ථානය – වව්නියාව

සංවිධාන ව්‍යුහය

මෙලෙස සාර්ථක පුනරුත්ථාපන ක්‍රියාවලියකින් පසුව සමාජගත වන පුනරුත්ථාපනලාභින්ගේ ජීවන තත්වය හා ආර්ථික තත්වය ඉහළ නැංවිමට අවශ්‍ය මඟපෙන්විම හා සුභසාධන කටයුතු සැලසීම මෙන්ම ඔවුන් පිළිබඳ පසුරැකවරණ සිදු කිරීම අරමුණ කර ගනිමින් සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පුනරුත්ථාපනය වුවන්ගේ ආර්ථික, සාමාජීය හා සුභසාධන කටයුතු සම්බන්ධීකරණ කාර්යාල දහතුනක් (13) මෙම කාර්යාංශය යටතේ ස්ථාපිත කොට ඇත. මීට අමතරව මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ අධ්‍යාපනය හා දැනුවත් බව ඉහළ නැංවිම උදෙසා දීප ව්‍යාප්තව දැනුවත් කිරිමේ  වැඩසටහන් ද සංවිධානය කරනු ලබයි.

පුනරුත්ථාපන කාර්යාංශය සහ ඒ යටතේ ක්‍රියාත්මක පුනරුත්ථාපන මධ්‍යස්ථානයන් මගින් සිදු කරනු ලබන කාර්යභාරය සැලසුම්සහගතව හා උපායමාර්ගික ප්‍රතිපත්තීන්ට අනුව වඩාත් කාර්යක්ෂමව ඉටු කිරිමේ ප්‍රතිඵලයක් වශයෙන් 2024 වර්ෂයේදී ISO 9001 : 2015 ප්‍රමිති සහතිකයෙන් පිඳුම් ලැබීමට හැකිවීම අප කාර්යාංශය ලැබු  සුවිශේෂි ජයග්‍රහණයකි. 

ගුණාත්මක ප්‍රතිකාර හා පුනරුත්ථාපන ක්‍රියාවලියක් මඟින් ‘සුවැති සිතක් පුබුදු දැයක්’ යන   අප කාර්යාංශයේ තේමා පාඨය යථාර්ථයක් කර ගැනිම උදෙසා සමාජගත කරනු ලබන පුනරුත්ථාපනලාභීන්ගේ හැකියාවන්  රටේ ජාතික ශ්‍රම බලකායට දායක කර ගැනීමට කටයුතු කිරීම ඒකායන අරමුණ වේ.